ගුවන්විදුලි ප්‍රවෘත්ති මාධ්‍යවේදී හිල්ටන් පෙරේරා – දිවි සැරිය නිම කරයි. – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ජාතික ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අංශයේ සහ ප්‍රාදේශීය සේවාවන්හි දීර්ඝ කාලයක් සේවයෙහි නිරතව සිටි හිල්ටන්පෙරේරා මහතා ඔක්තෝම්බර් 29 වන දින මහනුවර, පේරාදෙණියේ දී අභාවප්‍රාප්ත විය.
ගුවන් විදුලි මහ ගෙදර මගේ සමකාලීන නිලධාරියෙකුවූ ඔහු පිළිබඳව, මෙවන් මතක සටහනක් තැබීමට අදහස් කළේ, ඔහු වෙනුවෙන් දක්වන ලබැඳි උපහාරයක් ලෙසිනි.
1934 වසරේ ඊ.එස්.ටී.ප්‍රනාන්දු දෙමහල්ලන්ට දාව ජන්මලාභය ලද හිල්ටන්,තමන් පාසල් කිහිපයකින් අධ්‍යාපනය ලද බව වරක් මා සමග පැවසීය. තම පියා දුම්රිය ස්ථානාධිපතිවරයෙක් වූ බැවින්, විටින් විට ලද ස්ථාන මාරු නිසා, මෙසේ පාසල් කිහිපයක අධ්‍යාපනය ලබන්නට යොමු වූ බැව් ද හේ පවසා තිබිණි.ඒ අතර ,කොළඹ ශාන්ත ජෝසප් සහ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලය ඔහු සිප් සතර හදාළ විද්‍යාස්ථානයන්ය.
හිල්ටන් සෙනෙහෙබර දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි. ශ්‍රීනාත් ,ශාවන් ,චන්දිමාල් පුතුන් තිදෙනා සහ අයේෂිකා දියණිය එම දරුවන් සිවු දෙනාය.
හිල්ටන් සිය බිරිද සහ දරුවන් සිව් දෙනා සමග
හිල්ටන් පේරාදෙණි සරසවි සිසුවකු ලෙසින්
පේරාදෙණියේ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද හිල්ටන් පෙරේරා මහතා සිය වෘත්තීය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ලේක් හවුස් ආයතනයෙනි. 1963 වසරේ හෙතෙම ගුවන් විදුලි මහ ගෙදර වෙත පියමං කළේය.ඒ ඉංග්‍රීසි සේවයේ සහකාර සංස්කාරක ලෙසිනි.
ඔහුගේ කාර්යක්ෂමතාව සහ වෘත්තිය කෙරෙහි දැක් වූ කැපවීම නිසා, කාර්යභාර සංස්කාරක තනතුරටත් ,පසුව අධ්‍යක්ෂක තනතුරට ද,හේ උසස් විමේ භාග්‍ය ලද්දේය.
හිල්ටන් පෙරේරා සිය බිරිද අනුලාවන් හා අතිනත් ගත්මොහොත.
මහනුවර සේවය ආරම්භ කිරීමේ පුරෝගාමියා වූ හිල්ටන් පෙරේරා මහතා එහි ප්‍රථම අධ්‍යක්ෂකවරයා ලෙසටද පත් විය. ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වන රුහුණු සේවය-රජරට සේවය- මහනුවර සේවය-යන ප්‍රාදේශීය සේවා තුනෙහිම අධ්‍යක්ෂකවරයා ලෙස සේවය කිරීමෙන් ගුවන් විදුලි ඉතිහාසයේ ඔහුගේ නම අමරණීයත්වයට පත්වේ.පසුව ඔහු ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්තිය අධ්‍යක්ෂක තනතුරට ද පත් වූ අතර ඊට පසු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවෘත්ති හා ප්‍රාදේශීය සේවා තනතුරට ද පත්විය.
හිල්ටන් පෙරේරා මහතා ලේඛකයෙක් ලෙසින් මාධ්‍ය සාහිත්‍යයයේ පෝෂණය පිණිස දායකත්වය ලබා දුන් විද්වතෙකි. “ප්‍රවෘත්ති කලාව”, “ ගුවන් විදුලිය බැබල වූ තරු” ඔහු පන්හිඳින් නිපන් කෘතීන්ය.
Image Source : slbooks.lk
Image Source : sarasavi.lk
හිල්ටන් පෙරේරා විසින් ලියන ලද “ ප්‍රේමකීර්ති ද අල්විස් “නම්වූ කෘතියෙන්,ප්‍රේම් නම්වූ ඒ අමරණීය මිනිසා ගේ ආකස්මික චරිතය, සජීවී ලෙසින්ම පාඨක මනසේ සිත්තම් කෙරෙන බව, එම කෘතිය පරිශීලනය කළ අවස්ථාවේ මට හැඟිණි. හිල්ටන් , ඒ අසහාය ප්‍රේමකීර්ති චරිතය සමීපයෙන් ඇසුරු කළ අයෙකි. හිල්ටන් ඒ බැව්, එම කෘතියෙහි පෙරවදනට සටහනක් තබමින්, මෙවන් ප්‍රකාශයක් කර ඇත.
“මෙවන් කෘතියක් ලිවීමට මා යොමුවුණේ රුහුණු, රජරට හා මහනුවර යන ප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන තුනෙහිම අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ එකම තැනැත්තා මා වීම නිසාත්, ප්‍රේමකීර්ති ද මා සමඟ මෙම ප්‍රාදේශීය මධ්‍යස්ථාන තුනෙහිම සේවය කිරීම නිසාත්ය. එමෙන්ම ඉන්පසුව මා කොළඹ ප්‍රධාන කාර්යාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වශයෙනුත් පසුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වූ පසුවත් ප්‍රේමකීර්ති ද ස්ථාන මාරැවක් ලැබ ප්‍රවෘත්ති අංශයේ මා සමඟ සේවය කිරීමත් නිසාත්ය.”
Image Source : Bandula Jayasekara Twitter
හිල්ටන් පෙරේරා මහතාගේ අවසන් කටයුතු නොවැම්බර් 02 දින පස්වරුවේ මහනුවර මහය්යාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.අප එතුමන්ට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු
කොත්මලේ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාව,හිල්ටන් පෙරේරා මහතාට උපහාර පිණිස තැබූ අනුස්මරන හඩ පටයකින් මෙම අනුස්මරන් ලිපිය සමාප්ත කරමි.
තොරතුරු සහ සේයා රූ කිහිපයක් ලබා දීමෙන් සිය අනුග්‍රහය දැක්වූ ,හිල්ටන් දියණිය අයේෂිකා කෘතවේදීත්වයෙන් සිහිපත් කරමි.
ආචාර්ය ගාමිණී කාරියවසම්.